ලංකාවේ අනෙක් පාර්ශව කරන වැරදි වලට බැනුම් අහන්නෙත් පීඩා විඳින්නෙත් හැමදාම සිංහල බෞද්ධ පිරිස් : අස්ගිරි මහ නා හිමි.

SLFP Parliament Members Team Visit Maha Nayake Thero

Source: SBS Sinhala

ඇතැම් ජාතීන් විසින් කරන නොමනා ක්‍රියා හේතුවෙන් සිංහල ජාතියට බොහෝ දෙනා දොස් නගන බව  අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් පවසති.

රටේ පවතින නීතියට අනුව සිංහල ජාතිය අනුගත වී සිටියත් අනෙක් පාර්ශවයන් කරන වැරදි ක්‍රියා හේතුවෙන් පීඩාවට පත් වන්නේ සිංහල බෞද්ධ පිරිස් යැයි උන්වහන්සේ සඳහන් කළහ. බැනුම් අසනවා පමණක් නොව දඬුවම් විඳීමට පවා සිංහල බෞද්ධයන්ට සිදුවන බව අස්ගිරි පාර්ශ්වයේ මහනායක හිමිපාණන් වහන්සේ සඳහන් කළහ.

ජාතීන් අතර මිත්‍රත්වය වර්ධනය කිරීම සහ  නව ත්‍රස්තවාදය සහ අන්තවාදය මුලිනුපුටා දැමීම සඳහා වූ යෝජනාවලියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සකස් කිරීමෙන් පසු එම පක්ෂයෙන් නියෝජිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් එම යෝජනාවලිය සියම් මහ නිකායේ මල්වතු හා අස්ගිරි පාර්ශවයන්හි මහ නායක හිමිපාණන් වහන්සේ වෙත ඊයේ (26/05) පිළිගැන්වූ අවස්ථාවේදී  අස්ගිරි පාර්ශවයේ මහනායක හිමියෝ මේ බව සඳහන් කළහ.
SLFP Parliament Members Team Visit Maha Nayake Thero
Source: SBS Sinhala
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් හිටපු අමාත්‍ය මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර, ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක, යන මහත්වරු ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මෙම යෝජනාවලිය මහා නායක හිමිපාණන් වහන්සේ වෙත පැහැදිලි කරන ලදි.

රටක උන්නතිය උදෙසා කුමන යෝජනාවලියක් ඉදිරිපත් කළ ද  එම යෝජනාවලිය පසකලා දේශපාලන පක්ෂවල අවශ්‍යතාවය අනුව  සියලූ සම්මත කර ගැනීම් සිදු වන බව අස්ගිරි මහා විහාරයේදී මෙම අවස්ථාවට සහභාගීවූ එම අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් සඳහන් කළහ.

“දේශපාලනඥයන්ට වුවද හෘද සාක්ෂියට එකඟව වැඩ කිරීමට අවස්ථාව නැහැ. වරින් වර ඔබතුමාල කවුරුත් කියන දේවල් අපි අහනවා, දකිනවා. කියන දේ නොවේ කරන්න සිදුව තිබෙන්නේ.  පාර්ලිමේන්තුවේ අවසාන තීන්දුවේදී හෘද සාක්ෂියට අනුව ක්‍රියා කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.”

“මේ අවස්ථාවේදී රටේ දේශපාලනඥයන් පිළිබඳ ව   පවතින්නේ ලොකු තීරණාත්මක තත්ත්වයකයි. මේ අවස්ථාවේදී මෙන්ම ඉදිරියේදී රටේ තීරණාත්මක බලවේගය බවට පත් වන්නේ මහා සංඝරත්නය සහ කතෝලික පූජකවරුන්. ඒ නිසා දේශපාලනඥයන්ට ඒ පිළිබඳව අවධානය යොමු කරමින් කටයුතු කරන්න සිදු වේවි. මේ අවස්ථාවේ ඔබතුමාලා රට වෙනුවෙන් ඉදිරිපත් වීම සතුටුදායකයි. වසර කිහිපයකට පෙර අස්ගිරි පාර්ශවය මගින් රජයට තීරණාත්මක යෝජනාවලියක් අප ඉදිරිපත් කළා. නමුත් ඒ පිළිබදව අවධානය යොමු කළ බවක් දක්නට නැහැ. අද දකින්න ලැබෙන්නේ එහි අනිසි ප්‍රතිඵල” යැයි ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් සදහන් කළහ.
SLFP Parliament Members Team Visit Maha Nayake Thero
Source: SBS Sinhala
යෝජනාවලිය පිළිබඳව පැහැදිලි කරමින් යළි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල නොවීම සඳහා රට තුළ විධිමත් එක් පොදු නීති පද්ධතියක් සම්මත කර ගැනීම සම්බන්ධයෙන් මෙම යෝජනාවලිය සකස් කළ බවත් අවශ්‍ය පරිදි එය සංශෝධනය කර ගත හැකි යැයි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේය.

අලුතින් ආරම්භ කරන පාසල් ආගම් වශයෙන් නොබෙදිය යුතු බවත් ජාති ආගම් වශයෙන් බෙදීම ඉදිරියේදී කුල අනුව බෙදීමට ලක්විය හැකි යැයි මන්ත්‍රීවරයා කීවේය. මේ වන විට ජාති, ආගම් වශයෙන් බෙදී ඇති දේශපාලන පක්ෂ පවා මේ තත්ත්වයක් යටත් කුල වශයෙන් වුවද බෙදීමට පත් විය හැකි යැයි ඔහු කීවේය.

බුර්කා තහනම හදිසි නීතිය යටතේ ක්‍රියාත්මක වන්නක් බව බැවින් හදිසි නීතිය ඉවත් කිරීමත් සමඟ බුර්කා තහනම ද ඉවත් වන බව මන්ත්‍රීවරයා සදහන් කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදහස් දක්වමින්, වයස අවුරුදු දහඅටට අඩු අය ළමුන් වශයෙන් එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් පිළිගන්නා නමුත් ඇතැම් ආගම් තුළ අවුරුදු දොළහක වයසේ දැරියන් පවා විවාහ කර ගන්නා සිරිත්  නීති මගින් වෙනස් විය යුතු යැයි කීවේය.

රට තුළ පවතින තත්ත්වය අනුව නව නීති සම්මත කර ගැනීමට වඩා සුදුසුම අවස්ථාව මෙය යැයි ඒ මහතා කීවේය.

මේ පිළිබදව සියලු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කළ බවත් අමාත්‍ය රිෂාඩ් බදුයුඩීන් මහතා සමග පවා සාකච්ඡා කොට ඔවුන් දැනුවත් කළ බව මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාව සඳහා උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක,පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් මහචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරු ඇතුලු පිරිසක් සහභාගි වූහ.


Share
Published 27 May 2019 12:27pm
By Madhura Seneviratne
Presented by Nadeeka Daya Bandara - Sri Lanka
Source: SBS Sinhala program

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service